07/03/2026
අරාබි රටවල් ඇයි ඉරානයට මේ තරම් බය? වගේම මේ තරම් ඉරානයට වෛර කරන්නේ ඇයි? සරලවම කිව්වොත් මේක ආගමික ප්‍රශ්නයක් හරි අවුරුදු දහස් ගාණක් පරණ ඉතිහාසගත තරහක් හරි නෙවෙයි. මැදපෙරදිග පාලකයන්ට රෑට නින්ද යන්නේ නැත්තේ ඒ අතීතය මතක් වෙලා නෙවෙයි, තමන්ගේ ට්‍රිලියන ගණන් වටිනා ආර්ථිකය එක රැයින් විනාශ වෙයි කියන බයට. අපි බලමු අරාබි රටවල් සහ ඉරානය අතර තියෙන මේ නොනිවෙන ගින්නේ ඇත්තම කතාව සහ ඊටත් යටින් තියෙන දැවැන්ත භූ දේශපාලනික සෙල්ලම මොකක්ද කියලා.
මේ කතාව තේරුම් ගන්න නම් අපි මුලින්ම පර්සියානු ගල්ෆ් කලාපයේ තියෙන පරස්පරතාවය දිහා බලන්න ඕනේ. එක පැත්තකින් ඩුබායි, රියාද් සහ දෝහා වගේ අහස සිඹින ගොඩනැගිලි තියෙන, ලෝකයේ ධනවත්ම නගර තියෙනවා. තෙල් සල්ලි සහ ඇමරිකාවේ ආරක්ෂාව මත යැපෙන මේ රටවල් අති සුඛෝපභෝගී Wealthy Hubs විදිහට හඳුන්වන්න පුළුවන්. කෙනෙක් මට බනින්න පුළුවන්, හැබැයි තිත්ත ඇත්ත තමයි මේ රටවල් වලට තියෙන්නේ Fragile Stability එකක්. ඒ කියන්නේ සංචාරකයින්, විදේශ ආයෝජන සහ සාමකාමී ගෝලීය වෙළඳපොළක් නැත්නම් ඔවුන්ගෙ රටවල් වලට පැවැත්මක් නැහැ. අනිත් පැත්තෙන් ඉරානය කියන්නේ දශක ගණනාවක සම්බාධක (sanctions) මැද තමන්ගේම දෙපයෙන් හිටගන්න පුරුදු වුණ රටක්. මේක Sanctioned Resilience එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔවුන්ට විදේශ ආයෝජන ඕනේ නැහැ, ලෝකෙම වර්ජනය කළත් කොහොමහරි ඔවුන් දරාගෙන ඉන්නවා. මේ Self Reliance (ස්වයං යැපීම) හෙවත් 'Resistance economy' එක නිසා ඉරානයට ආර්ථික කඩාවැටීම් සහ යුද්ධයක් දරාගන්න පුළුවන් වුණත්, සුඛෝපභෝගී අරාබි රටවලට ඒක දරාගන්න කොහෙත්ම බැහැ. පහුගිය දවස්වල ඇතිවුන කලබලයෙන් විතරක් ඒ රටවල් ටිකට කොච්චර පාඩු වෙන්න ඇති කියලද හිතන්නේ?
මේ ප්‍රශ්නයේ මුලටම ගියොත් අපිට පේනවා මේකේ පදනම වැටිලා තියෙන්නේ භාෂාමය සහ ආගමික බෙදීම් මත කියලා. ඉරාන ජාතිකයින් අරාබි නෙවෙයි, ඔවුන් හිතන්නේ ඔවුන් ඊට වඩා වෙනස් Persian (පර්සියානු) ජාතිකයින් කියලයි. ඔවුන් කතා කරන්නේ අරාබි භාෂාව වත් නෙවෙයි, Farsi භාෂාව. ඒ වගේම ලෝකයේ මුස්ලිම් ජනගහනයෙන් 85% ක් විතර ඉන්නේ Sunni මුස්ලිම්වරු. ගල්ෆ් රටවල් බහුතරයක් පාලනය කරන්නේ මේ Sunni නායකයින්. හැබැයි ඉරානය 1501 අවුරුද්දේ ඉඳන්ම Shia මුස්ලිම්වරුන්ගේ කේන්ද්‍රස්ථානය.
හැබැයි මේ සාමාන්‍ය වෙනස ලොකුම භීතිකාවක් බවට පත්වුණේ 1979 ඉස්ලාමීය විප්ලවයත් එක්ක. ඉරානයේ Ayatollah Khomeini ඒ කාලෙ බලයට ඇවිත් මුළු මැදපෙරදිගටම ඇහෙන්න කිව්වේ "රජකම (Monarchy) කියන්නේ ඉස්ලාමයට සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයක්" කියලා. සෞදි අරාබියට මේක තමන්ගේ පැවැත්මට ආපු ලොකුම තර්ජනයක් වුණා. මොකද සෞදි රජ පවුලට බලය ලැබිලා තියෙන්නේ ඔවුන් මක්කම සහ මදීනාව ආරක්ෂා කරන නිසයි. විප්ලවයෙන් පස්සේ ඉරානයේ නායකයෝ කෙලින්ම අරාබි රටවල ඉන්න Shia ජනතාවට කතා කරලා ආණ්ඩු පෙරළන්න අනුබල දුන්නා.
මේ නිසා ඉරානයත් එක්ක කෙලින්ම යුද්ධ කරනවා වෙනුවට අරාබි රටවල් වටෙන් ගේමක් ගැහුවා. ඒ තමයි 1980 දී ඉරාකයේ සදාම් හුසේන් (Saddam Hussein) දේශසීමා ප්‍රශ්නයක් කියලා ඉරානයට පහර දෙද්දී, ගල්ෆ් රටවල් සදාම්ට බිලියන ගණනින් සල්ලි දීලා ඔහුගෙ යුද්ධය පෝෂණය කරපු එක. අරාබි පාලකයෝ සදාම්ට කැමති නෑ, හැබැයි සදාම් ඉරානයට ගහන එක ඔවුන්ට ප්‍රයෝජනවත් වුණා. මේ අවුරුදු 8 ක යුද්ධයෙන් ඉරානයට ලොකු පාඩුවක් වුණා වගේම මිලියනයකට කිට්ටු පිරිසක් මිය ගියා. මේ යුද්ධයෙන් ඉරානය තීරණාත්මක පාඩම් දෙකක් ඉගෙන ගත්තා. ඒ තමයි කවදාවත් තමන් ආයේ මේ විදිහට සාමාන්‍ය හමුදාමය යුද්ධයකට යන්නේ නැහැ කියන එක සහ අනික් අරාබි රටවල් කවදාවත් තමන්ගෙ ඇත්ත මිතුරෝ නෙවෙයි කියන එක.
ඒ වෙනුවට ඔවුන් Asymmetric Network Warfare (අසමමිතික ජාලගත යුධ ක්‍රම) වලට යොමු වුණා. ඒ කියන්නේ තමන්ගේම හමුදාව සීමා මායිම් වලින් එහාට යවනවා වෙනුවට, වෙනත් රටවල් ඇතුළේ පොඩි සන්නද්ධ කණ්ඩායම් (militias) හදලා, එයාලට උදව් කරලා ඒ හරහා ඒ රටවල් වලට ප්‍රහාර එල්ල කරන එක. මේකේ පළවෙනි සහ සාර්ථකම පියවර විදිහට ඔවුන් ලෙබනනයේ Bekaa Valley ප්‍රදේශයේදී අලුත් Shia සන්නද්ධ කණ්ඩායමක් හැදුවා. Organizing Militias In Bekaa Valley කියන මේ ව්‍යාපෘතියෙන් බිහිවුණු ඒ කණ්ඩායම තමයි අද ලෙබනන් රජයටත් වඩා බලවත් වෙලා ඉන්න Hezbollah සංවිධානය. අද වෙද්දී ඔවුන් ගාව ලක්ෂ එකහමාරකට වඩා මිසයිල තියෙනවා වගේම ලෙබනන් රජයටවත් ඔවුන්ගේ අවසරයක් නැතුව කිසිම තීරණයක් ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා.
මේ අස්සේ 2003 දී ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කරලා සදාම් හුසේන්ව බලයෙන් පහ කළා. මේක ඉරානයට Geopolitical Earthquakes එකක් (භූ දේශපාලනික භූමිකම්පාවක්) වුණා. ඇමරිකාව නොදැනුවත්වම කළේ ඉරානයට හිටපු ලොකුම හතුරාව අයින් කරලා ඉරාකය ඉරානයට භාර දුන්නා වගේ වැඩක්. ඉරානය ඉක්මනින්ම ඉරාකය ඇතුළේ බුද්ධි අංශ නිලධාරීන් සහ සල්ලි පාවිච්චි කරලා තමන්ට හිතවත් militias හදාගත්තා. අදටත් ඉරාකයේ තියෙන Mobilization Forces කියන්නේ ඉරානයට පක්ෂපාතී කණ්ඩායම්.
මේ හරහා ඉරානය ඉතිහාසයේ කවදාවත් නැති විදිහට ඉරානයේ ඉඳන් ඉරාකය, සිරියාව හරහා ලෙබනනයට කෙලින්ම ගොඩබිම් මාර්ගයක් හදාගත්තා. මේ නිසා ඔවුන්ට Direct Mediterranean Access (මධ්‍යධරණී මුහුදට කෙලින්ම ප්‍රවේශයක්) ලැබුණා. දැන් සෞදි අරාබියට උතුරින් ඉරාකය හරහා ඉරාන තර්ජනයක් තියෙනවා. ඊශ්‍රායලයට උතුරින් ලෙබනනය හරහා ඉරාන තර්ජනයක් තියෙනවා. අරාබි රටවල් සම්පූර්ණයෙන්ම ඉරානයෙන් වටවෙලා ඉවරයි.
උතුරු පැත්තෙන් එහෙම වෙද්දී, දකුණු පැත්තෙනුත් ලොකු සිද්ධියක් වුණා. ඒ තමයි යේමනයේ ඇතිවුන සිද්ධිය. 2014 දී යේමනයේ Houthis ලා (මේකත් ඉරානයට හිතවත් සන්නද්ධ කණ්ඩායමක්) යේමනයේ අගනුවර අල්ලගත්තාම, සෞදිය දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් යේමනයට එල්ල කළා මාස කිහිපයකින් යුද්ධය දිනන්න හිතාගෙන. හැබැයි අවුරුදු 7 ක් ගිහිල්ලත් සෞදියට දිනන්න බැරි වුණා. ඒ වෙනුවට Houthis ලා ඉරානයේ තාක්ෂණය පාවිච්චි කරලා සෞදියේ රියාද් ගුවන් තොටුපළට, ජෙඩා වල තෙල් පිහිපහදු වලට මිසයිල ගහන්න පටන් ගත්තා.
මෙතනදී තමයි මේ යුද්ධයේ තියෙන දරාගන්න බැරි වියදම එළියට එන්නේ. සෞදිය එකක් ඩොලර් මිලියන 3 ක් 4 ක් වටින අති නවීන Patriot ගුවන් ආරක්ෂක මිසයිල අහසට යවන්නේ, එකක් ඩොලර් 2000 ක් වගේ වෙන, තණකොළ කපන මැෂින් වල එන්ජින් දාලා ගරාජ් එකක හදන "Garage drones" බිම දාන්නයි. මේක ආර්ථික වශයෙන් හැමදාම කරන්න බැරි, පිස්සු හැදෙන වැඩක්. මේ අතරේ, 2019 අවුරුද්දේ සැප්තැම්බර් 14 වෙනිදා සෞදියේ 70% ක් තෙල් පිරිපහදු කරන ලෝකයේ වටිනාම කාර්මික මර්මස්ථානය වෙන Abqaiq පිරිපහදු මධ්‍යස්ථානයට එල්ල වුණු ඩ්‍රෝන ප්‍රහාරයත් එක්ක මේ ඉරාන තර්ජනය යථාර්ථයක් බවට පත්වුණා. ඒ ප්‍රහාරයෙන් ලෝක තෙල් සැපයුමෙන් 5% ක් විනාඩි 20 න් නැවතුණා. බිලියන ගාණක් වටිනා ඇමරිකානු ආරක්ෂක පද්ධති වලටවත් මේ ඩ්‍රෝන් ටික නවත්වන්න බැරි වුණා.
මේ ප්‍රහාරවලට ඉරානයෙන් සහය තිබ්බත් ඒවා ඉරානයේ ඉදලා ආවෙ නැති හින්දා, ඉරානය කවදාවත් ප්‍රහාරයේ වගකීම බාරගත්තේ නැහැ. මේ නිසා ඉරානයට කෙලින්ම යුද්ධයක් ප්‍රකාශ කරන්න අරාබි රටවලට සාධාරණ හේතුවක් හදාගන්න අමාරු වුනා. ඒ වගේම බහරේන් වගේ අරාබි රටවල් වල රජතුමා Sunni වුණාට බහුතර ජනතාව Shia. සෞදියේ තෙල් තියෙන Eastern Province එකෙත් බහුතරය Shia. ඉරානය මේ ජනගහනය Demographic Weapons විදිහට පාවිච්චි කරලා ඒ රටවල් ඇතුළේ උද්ඝෝෂණ සහ කැරලි ඇතිකරයි කියන එකත් අරාබි පාලකයින්ට තියෙන ලොකුම භීතිකාවක් වුනා.
මේ ඔක්කොටම වඩා භයානකම දේ තියෙන්නේ මුහුදේ. ලෝකයේ තෙල් වලින් 20% ක් (දිනකට බැරල් මිලියන 20 ක්) යන්නේ Strait of Hormuz (හෝමූස් සමුද්‍ර සන්ධිය) කියන සැතපුම් 2 ක් විතර පළල ඉතාමත් පටු මුහුදු මාර්ගය හරහායි.
මේක තමයි අරාබි රටවල ආර්ථිකයේ ප්‍රධාන නහරය. ඉරානයට අඩු වියදම් Fast boats සහ මුහුදු බෝම්බ (Mines) පාවිච්චි කරලා මේක වහලා දාලා මුළු ලෝකයේම වෙළඳාම සහ අරාබි රටවල ආර්ථිකය සම්පූර්ණයෙන්ම අඩාල කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ගල්ෆ් රටවලට තියෙන හැබැයි ගොඩක් අය කතා නොකරන ලොකුම දුර්වලතාවයක් තමයි ජලය. ඩුබායි, රියාද් වගේ නගර වලට බොන්න වතුර ගන්නේ මුහුදු ජලය පිරිසිදු කරන Desalination plants වලින්. මේ දැවැන්ත කර්මාන්තශාලා තියෙන්නේ මුහුදු වෙරළේ කිසිම ආවරණයක් නැතුව. දරුණු යුද්ධයක් ආවොත් ඉරානයට මේවට ගහන එක හරිම ලේසියි. වතුර නැතුව මේ කාන්තාර නගර වලට දවස් කිහිපයක්වත් අල්ලගෙන ඉන්න බැහැ.
අනිත් භයානකම සහ ලෝකෙම බයවෙලා ඉන්න දේ තමයි න්‍යෂ්ටික අවි. කලින් ලිපියේ මම කිව්ව විදියට ඉරානය මේ වෙද්දී යුරේනියම් 60% කින් බලගන්වලා ඉවරයි. ගල්ෆ් රටවල් බයවෙන්නේ මේකයි, 60% ක් යුරේනියම් බලගන්වන්නේ විදුලිය හදන්න නෙවෙයි, ඒක බෝම්බයක් හදන්න යන ගමනේ අවසාන පියවර. න්‍යෂ්ටික බෝම්බයක් හදන්න අවශ්‍ය material හදාගන්න ඔවුන්ට යන Breakout time එක දැන් මනින්නේ අවුරුදු වලින් නෙවෙයි, සති වලින්.
ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් හැදුවොත් ඔවුන්ට කලාපයේ කිසිම බයක් නැතුව තමන්ගේ වැඩ කරගෙන යන්න පුළුවන් වෙනවා වගේම ඒක සෞදියට රතු එළියක් වෙනවා. මොකද ඉරානයේ ඉඳන් සෞදියේ රියාද් නුවරට මිසයිලයක් එන්න යන්නේ විනාඩි 5 යි. මේක මැදපෙරදිග ඇතිවෙන අතිශය භයානක, පාලනය කරන්න බැරි න්‍යෂ්ටික ආයුධ තරඟයකට මුල පුරනවා.
මේ හැමදෙයක්ම කොහොම ඉවර වෙයිද? ගල්ෆ් රටවල් මේ වෙලාවේ යුද්ධ කරනවාට වඩා බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්. ඔවුන් හිතනවා ඉරානයේ අලුත් පරම්පරාව මේ ආගමික නීති, සම්බාධක, දූෂණය සහ වෙනත් රටවල militias වලට තමන්ගේ සල්ලි වියදම් කරන එක ගැන කලකිරිලා ඉන්න නිසා, ඒ රට ඇතුළේම ජනතාව ඉරාන ආණ්ඩුව පෙරළලා දායි කියලා. 2022 සහ 2023 කාලේ ඉරානයේ ඇතිවුණු දැවැන්ත උද්ඝෝෂණ වලින් අරාබි රටවල් මේ බලාපොරොත්තුව තවත් වැඩි කරගත්තා. හැබැයි දැන් හිටපු ආධ්‍යාත්මික නායකයා නැති වුනත් එහෙම විප්ලවයක් ආයෙනම් තාම පේන්න නෑ.
අවසාන වශයෙන් ගත්තොත්, මේ ගැටුම කෙළවර වෙන්නේ කොතැනින්ද? අරාබි රටවල් (Gulf monarchies) කියන්නේ Status quo powers. ඒ කියන්නේ ඔවුන්ට ඕනේ තියෙන විදිහටම ලෝකය තියාගෙන, සාමකාමීව වෙළඳාම් කරගෙන, සංචාරකයින් ගෙන්නගෙන සල්ලි හොයාගෙන ඉන්න. යුද්ධයක් ආවොත් ඔවුන්ගේ Vision 2030 වගේ ව්‍යාපෘති සේරම කඩාගෙන වැටෙනවා. හැබැයි ඉරානය කියන්නේ විප්ලවවාදී බලවේගයක්. ඔවුන්ට ඕනේ ටෙහෙරානය මූලික කරගෙන මැදපෙරදිග සිතියම සහ කලාපීය බලය අලුතින් හදන්න.
මේ පරස්පර අරමුණු දෙක තියෙනකන් සහ ලෝකයේ වැඩිහරියක් බලශක්තිය පටු මුහුදු මාර්ගයකින් යනකන්, මේ කලාපයේ තියෙන සීතල යුද්ධය කවදාවත් ඉවර වෙන්නේ නැහැ. හෝමූස් සමුද්‍ර සන්ධියේ වෙන එක පොඩි වැරදීමකින් හෝ කවුරුහරි එල්ල කරන එක මිසයිලයකින් දැන් වෙලා තියනවා වගේ මුළු කලාපයම එකපාර ගිනිගන්න පුළුවන්. මේ ගල්ෆ් කලාපයේ රටවල් ලංකාවේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ගේ ජීවිත දියුණු කළා තමයි. ගොඩක් ලොකු ආර්ථිකත් එයාලට තියනවා තමයි. හැබැයි ඒ ආර්ථික දිය බුබුළු වගේ ඉරානය කරන පොඩි දෙයක් මත සම්පුර්ණයෙන් කඩාවැටෙන්නත් පුළුවන්. ඒකයි ගල්ෆ් පාලකයන්ට ඉරානය ගැන මේ තරම් බයක් වගේම නින්ද නොයන වෛරයක් තියෙන්නේ.